
එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම සහ සාර්ථකම බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තරය ජය ගැනීමට දිරිය ශක්තිය ලබාදීම සඳහා ‘ඔලි නිලූක කරුණාරත්න පදනම’ නමින් සුබසාධන ආයතනයක් ආරම්භ කළේය. පසුගියදා ඔලිම්පික් නිවහනේදී එම සද්කාර්යයට අත තැබූ නිලූක එහිදී සිය පළමු මූල්‍ය ප්රතිපාදනය පිරිනමනු ලැබීය. මේ වසරේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උලෙළ සඳහා සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තුවෙන් පසුවන කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් වෙතය.
බැඩ්මින්ටන් තරග බිමේ වසර 22ක් රැඳී සිටිමින් දෙස් විදෙස් ජයග්‍රහණ රැසක් අත්කරගත් 39 හැවිරිදි නිලූක 2012 ලන්ඩන්, 2016 රියෝ සහ 2020 ටෝකියෝ වශයෙන් වාර තුනකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ද එක් වූ අතර, ක්‍රීඩාවෙන් උපරිම හැකියාවන් පෙන්නුම් කරන මෙරට ඕනෑම ක්‍රීඩා ක්ෂේත්රයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සිය පදනම හරහා දිරිය ශක්තිය ලබා දෙන බව ඔලිම්පික් නිවහනේදී ක්‍රීඩාවෙන් සමුගැනීම ද නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් ඔහු කියා සිටියේය. අවුරුදු 16දී ජාතික බැඩ්මින්ටන් ජාතික ශුරතාව දිනාගත් නිලූක ජාතික බැඩ්මින්ටන් ශූරතාව දිනාගත් ළාබාලතම ක්‍රීඩකයා වන අතර, එම වාර්තාව අදටත් නොබිඳී පවතී. ඔහු වැඩිම වාර ගණනක් ජාතික බැඩ්මින්ටන් ශූරතාව දිනා ගැනීමේ වාර්තාවට ද හිමිකම් කියයි.
“මේ පදනම බිහි කිරීම මම 2016 අවුරුද්දේ ඉඳලා දුටු සිහිනයක්. මම ජාත්‍යන්තරය ජයගත්තේ ගොඩාක් අභියෝගවලට මුහුණ දීලා. මගේ අවුරුදු 22ක ක්‍රීඩා ජීවිතයේ පොසිටිව් වගේම නෙගටිව් අත්දැකීම් සෑහෙන්න තියෙනවා. අනාගත පරපුරට ජාත්‍යන්තරය ජයගන්න අතදෙන්න ඕන කියන අදහස ආවේ ඒ අත්දැකීම් එක්කයි. යුපුන් අබේකෝන්ව මම මුලින්ම දුටුවේ මීට අවුරුදු තුනකට කලින් ටොරිංටන් ක්රීඩාංගණයේදීයි. එදා ඔහු දැකපු පළමු අවස්ථාවේදීම මට හිතුණා මේ ක්‍රීඩකයා අනිවාර්යයෙන්ම යමක් කරනවා කියලා. ඒක මම එවෙලේ මා ළඟ හිටපු මෙරට ක්‍රීඩාවේ ඉහළම තලයේ නිලධාරියා එක්ක කිව්වා. ඒත් එයා ඒක පිළිගත්තේ නෑ. ඒත් අන්තිමට යුපුන් ලංකාවේ ක්‍රීඩා ඉතිහාසය වෙනස් කළා විතරක් නෙවෙයි දකුණු ආසියාවේම ක්‍රීඩා ඉතිහාසය වෙනස් කළා. තත්ත්පර 10ට අඩුවෙන් මීටර් 100 දුවපු දකුණු ආසියාවේ එකම කෙටි දුර ධාවන ශූරයා විදිහට යුපුන් අපේ රටට විශාල කීර්තියක් අත්කර දුන්නා. ඒ අනුව මම මගේ පදනම හරහා ඔහු වෙනුවෙන් පළමු පියවර තැබුවා. ඒක කරන්න මට අවස්ථාවක් ලැබීමත් ලොකු භාග්‍යයක්.” යුපුන් අබේකෝන් වෙනුවෙන් ‘ඔලි නිලුක කරුණාරත්න පදනමේ’ පළමු මූල්‍ය ප්රතිපාදනය සිදු කරමින් ඔහු එසේ ප්‍රකාශ කළේය.
නිලුක කරුණාරත්න පදනම ආරම්භ කරමින් ක්‍රීඩාවෙන් සමුගැනීම සහ ක්‍රීඩාව වෙනුවෙන් දිරිය දුන් අය වෙනුවෙන් සංවේදී කතාවක් ද සිදු කළේය. මේ අවස්ථාවට ඔලි නිලූක කරුණාරත්න පදනමේ සාමාජික ඔහුගේ බාල සොහොයුරු ජාතික ක්‍රිකට් පිලේ තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇතුළු ඔලිම්පික් කමිටුවේ නිලධාරීහු ද සහභාගි වූහ.