මා දුටු සුන්දර ෂින්ජියාන්

මා දුටු සුන්දර ෂින්ජියාන්

චීනය ලොව රටවල් අතර ආර්ථිකමය, තාක්ෂණික, ඓතිහාසික වශයෙන් ඉදිරියෙන්ම සිටින රටකි. චීනය යනු ගවේෂණය කොට නිම කළ නොහැකි රටකි. එහි ඇති පළාත් සහ ස්වායත්තයන් එකිනෙකට වෙනස් සුන්දරත්වයෙන් හා භූ ලක්ෂණයන්ගෙන් මෙන්ම දේශගුණ විවිධත්වයෙන් ද යුක්තය.

මා අසා තිබුණාට ෂින්ජියාන් උයිගුර් ස්වායත්තය මෙතරම් විශ්මයජනක යැයි මා එහි යනතුරුත් විශ්වාස කළේ නැත. ඉතිං එන්න, මා දින 10ක් තුළ එහි ගතකළ කාලයේ අපූර්වත්වයේ සංක්ෂිප්තය අත්විඳින්න.

මගේ චාරිකාවේ පළමු දිනය ෂින්ජියාන් උයිගුර් ජාතික ස්වායත්තයේ ඓතිහාසික කශ්ගර් නගරයයි. එහි නගර මධ්‍යෙයේ ඇති පුරාණ කශ්ගර් නගරය උයිගුර් ජන වර්ගයේ ජන සිරිත්, අත්කම්, ගෘහනිර්මාණ ශිල්පය, ආහාර, ඇඳුම් පැළඳුම්, නැටුම් ගැයුම්වලින් පරිපූර්ණය. කශ්ගර් පුරාණ නගරයට ඇතුළු වන්නේ සෑම දිනකම පැවැත්වෙන සමාරම්භක උත්සවයකිනි. එය උයිගුර් නැටුම් ගැයුම්වලින් සමනවිතය. කශ්ගර් නොහොත් කාෂි පුරාණ නගරයේ උයිගුර් නිවාස 12000ක් පමණ වේ. එහි උයිගුර් වැසියන් 40000ක් පමණ ජීවත් වෙති. ඒ ගම්මානය තනිකරම ඓතිහාසික වෙළඳ ගම්මානයකි. විවිධ අත්කම් නිර්මාණ, ආහාර ඒ අතර විය. උයිගුර් තරුණ තරුණියන් මෙන් ඇඳ පැළැඳ හැඩ වෙන්නත් ඡායාරූප ගැනීමටත් එහි අවස්ථාව තිබේ. එමෙන්ම මැටි අත්කම් නිර්මාණ අත්හදා බැලීමටත්, වානේ නිර්මාණ මෙන්ම නාන් රොටී සෑදීමටත් මට අවස්ථාව හිිමි විය. සිතන තරම් මේ නිර්මාණ නිම කිරීම පහසු නොවන බව ඉන් මා ලැබූ අත්දැකීමයි. ගම්මානය තුළ ගත කරන කාලයේ දී උයිගුර් වැසියන් තුළ තිබූ ආගන්තුක සත්කාරය, සංග්‍රහ සහ ඔවුන්ටම ආවේණික නැටුම් ගැයුම් වැයුම් අප සිත් තුළ ඉමහත් ප්‍රබෝධයක් ජනිත කිරීමට සමත් විය.

එදිනම සවස මා පිටත් වූයේ ෂින්ජියාන් ස්වදේශීය සංගීත භාණ්ඩ ගම්මානයටයි. එය කශ්ගර් හි ෂූහු ගම්මානයේ පිහිටා තිබේ. පාරම්පරික උරුමයෙන් පැවත එන උයිගුර් ජන වර්ගයාට අනන්‍ය වූ සංගීත භාණ්ඩ වර්ග 50ක් පමණ එහි ඒ මොහොතේත් නිර්මාණය කරමින් තිබිණ. වයෝවෘධ මෙන්ම තරුණ නිර්මාණකරුවන් සාක්ෂි දැරූවේ උයිගුර් උරුමය නොනසා අනාගතයට ගෙන යන බවයි. විවිධ සතුන්ගේ සම් භාවිතයෙන් බෙර වර්ග සහ සෙසු සංගීත භාණ්ඩ එහි නිෂ්පාදනය කොට කලාපයේ මෙන්ම ආසියාව සහ යුරෝපයේ වෙළඳපොල වෙත එම වාද්‍ය භාණ්ඩ ගමන් කරන බව මට දැනගන්නට ලැබිණ. ඉතිහාසයේ වටිනාකම් සහ නිර්මාණාත්මක කුසලතා අනාගතය වෙත ගමන් කරවීම සඳහා අවශ්‍ය සියලු යටිතල පහසුකම් සම්පාදනයට චීන බලධාරීන් ක්‍රියා කිරීම මෙම සාර්ථකත්වයේ රහස බව මට හැඟිණ.

ගෙවුණු තෙවන දිනයේදී චීන ආර්ථිකය සෙසු ලෝකය සමග සම්බන්ධ වෙමින් තීරුබදු රහිත භාණ්ඩ වෙළඳාමේ යෙදෙන දැවැන්ත ආර්ථික නිදහස් වෙළඳ කලාප වෙත පිවිසෙන්නට මට හැකි විය. ඒ කාෂි නිදහස් වෙළඳ කලාප – දේශසීමා අතර නිදහස් තීරුබදු ප්‍රදර්ශන මධ්‍යස්ථානයයි. චීනය සෙසු කලාප සමග දක්වන ආර්ථික හා වෙළඳ සබඳතාවේ දිශානතිය එහි දී දැක බලා ගැනීමට අවස්ථාව ලැබිණ. විශේෂයෙන් මධ්‍යම ආසියානු රටවල් සමග දේශසීමා හරහා වෙළඳාම සහ ඊ වාණිජ්‍ය සඳහා චීනය ක්‍රියාකාරීව පහසුකම් සපයයි. නැවුම් නිෂ්පාදන මෙන්ම මෝටර් රථ සඳහා මෙම කලාප අතර ඉහළ වෙළඳපොලක් ගොඩනැඟීමට හැකි වී තිබේ.

චීන ජනතාව පුදුම සහගතය. වැලි කාන්තාර වනාන්තර බවට පත් කිරීමට ඔවුන් දැරූ පරිශ්‍රමය සහ හරිත වර්ණ ප්‍රදේශය මට අක්සු (Aksu) හි kekeya හි දී දැක ගැනීමට ලැබිණ.

අවාටි (Awati) කොරළයේ Daolang කලා ගම්මානයේ සැරි සැරූ මා කලාව සඳහා විශේෂ කුශලතා ඇති උයිගුර් පාරම්පරික ශිල්පීන් එහි ජීවත් වෙමින් අපූරු කලා නිර්මාණ නොනැසී අනාගතය වෙත ගෙන යන අපූර්වත්ය අත්වින්දෙමි. චීන රජයෙන් ඊට අවශ්‍ය සියලු සහාය සපයා දී ඇත.

ෂින්ජියාන් උයිගුර් ජාතික ස්වායත්තයේ විශාලතම ජාතික තෙත් බිම් කලාපය Aksu හි Duolang ගංඟාව මැදි කොට පිහිටා තිබේ. පරිසරයේ සන්දරත්වය, කුරුල්ලන්ගේ පාරාදීසය මම එහි දුටු සුන්දර දසුන්ය. අක්සු හි සංවර්ධනයට සහ එහි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මෙම දුවාලොන් ගංඟාව ප්‍රධාන සාධකයක් වී තිබේ.

ෂින්ජියාන් හි මගේ සංචාරයේ වඩාත්ම සිත් ගත් ගමනාන්තය වූයේ Altay නගරයයි. එහි Hemu ගම්මානය සම්පූර්ණයෙන්ම සුරංගනා ලෝකයක් සිහිපත් කරයි. විශ්මයජනක අල්ටේ හි තේජාන්විත සොබාදහමේ මායාව කඳු, නිම්න, තණබිම්, මිටයාවත් බැටළු රංචු, අශ්ව සේනා, ගව පට්ටි, මීදුම් සළු, දිය දහර සහ ගංගා හා විල්වලින් පිරී පවතී. මොංගෝලියාව, රුසියාව සහ කසක්ස්ථානයට මායිම්ව පිහිටි හෙමු ගම්මානය ස්වභාවික පරිසරය, ප්‍රසන්න දේශගුණය සහ අද්විතීය කසක්ස් ජන සිරිත් විරිත්වලින් පූර්ණ වී තිබේ. Altay පිළිබඳව සංක්ෂිප්තව පවසන්නේ නම් ග්ලැසියරවල සිට තණබිම් දක්වාත්, වනාන්තර ජලවේලි සිට කාන්තාර දක්වාත් සියලු භූ ලක්ෂණ ගවේශණය කළ හැකි සුන්දර නගරයකි. එහි පිහිටි කනාස් විල දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනීය ගමනාන්තයකි. ඇල්පයින් කඳු, ගංඟා, වනාන්තර සහ තණ බිම් වටකොට දිවෙන කනාස් විල චීනයේ ඇති ඉතාමත් ස්වාභාවික දර්ශනවලින් එකක් වේ. Hemu  ගම්මානයේ Yunxiao කඳු මුදුන මා තරණය කළේ කේබල් රථයෙනි. හිම කැටි තැවරුණ කඳු මුදුන මත මුහුදු මට්ටමේ සිට මීටර් 2800ක උසින් යුක්තය. කඳු මුදුනේ සිට චීන මහ ගොඩබිම, මොංගෝලියාව, රුසියාව, කසක්ස්ථානය දිශා අපට දැක ගැනීමට හැකි විය. Altay හි ජාත්‍යන්තර ස්කී නිකේතනයේ දී අශ්වයින් පිට යාමට සහ රේසින් මෝටර් රථ අත්දැකීම විඳ ගැනීමට මට අවස්ථාව ලැබිණ.

චීනය තුළ විවිධ ජනවර්ග 56ක් සාමකාමීව ජීවත් වෙති. ඔවුන් අතරින් ජනවර්ග 44ක් පමන ෂින්ජියාන් හි වෙසෙති. එම ජාතික ස්වායත්තයේ ජනතාව අත්විඳින නිදහස, එහි ඇති සංවර්ධනය, තාක්ෂණික සහ ඩිජිටල් ඊ වාණිජ්‍ය ප්‍රවේශයට මම සාක්ෂිකාරියක වීමි.

උයිගුර් ජීවන අත්දැකීම්, කසක්ස් සිරිත්විරිත්, ටජික් ජීවන රටා සහ සාම්ප්‍රධායික ආහාර රස අත්විඳිමින්, සාම්ප්‍රදායික නැටුුම් ගැයුම් වැයුම් භුක්ති විඳීමේ අපූර්වත්වය මට විඳීමට ලැබීම වාසනාවකි. කෙටියෙන්ම කිවහොත් ෂින්ජියාන් උයිගුර් ජාතික ස්වායත්තයේ සැරිසැරීමේ දී, සංස්කෘතික හා ඓතිහාසික අත්දැකීම් සහ සොබාදහමේ පිරිසිදු සුන්දරත්වය සමග කිමිඳෙමින් අමතක නොවන මතකයන් ජීවිත කාලයටම ලබා දෙන සුන්දර චාරිකාවක මා ජීවත් වූ බව කිව යුතුය.

-සුනේත්‍රා කුමාරි

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *