පැතුම් නිශ්ශංක සහ චරිත් අසලංක ගොඩනැඟූ වාර්තාගත සබඳතාව හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව ඊයේ චැටෝග්රෑම්හිදී පැවති දෙවැනි දිවා රාත්රි එක්දින තරගය කඩුලු 3කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
මේ සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ලෙස සමකර ගැනීමට ද ශ්රී ලංකා පිලට හැකි විය.
තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් බංග්ලදේශය දුන් ලකුණු 287ක ඉලක්කය හඹා ගිය ශ්රී ලංකා ක්රීඩකයෝ පන්දු 17ක් ඉතිරිව තිබියදී ජයග්රාහී ඉලක්කය පසු කළේ කඩුලු 7ක් පමණක් අහිමි කර ගනිමිනි.
මුල් කඩුලු 3 (අවිශ්ක 0, මෙන්ඩිස් 16 හා සදීර 1) ලකුණු 43ක් තුළ බිඳ වැටීමෙන් අනතුරුව ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට එක් වූ චරිත් අසලංක ලකුණු 185ක සබඳතාවක් සමඟින් ශ්රී ලංකා පිල ජයග්රාහී මාවතට රැගෙන ගියේය.
පන්දු 183කින් ගොඩනැඟුණු මේ සබඳතාව වාර්තා අතරට එක් වූයේ එක්දින තරගයකදී ශ්රී ලංකා පිල වෙනුවෙන් සිව්වැනි කඩුල්ලට ගොඩනැඟූ ඉහළම සබඳතාව ලෙසිනි. ඊයේ බිඳ වැටුණේ 1997දී අර්ජුන රණතුංග සහ රොෂාන් මහානාම විසින් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 171කින් පිහිටුවා තිබූ වාර්තාවයි.
මේ තරගයේදීමහීෂ් තීක්ෂණ වෙනුවට ශ්රී ලංකා කණ්ඩායමට දුනිත් වෙල්ලාලගේ කැඳවා තිබූ අතර, බංග්ලාදේශ කණ්ඩායම පළමු තරගයට ක්රීඩා කළ කණ්ඩායමම එක් කර තිබිණි.
දෙපිල අතර අවසන් එක්දින තරගය සඳුදා මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට චැටෝග්රෑම්හිදීම පැවැත්වේ.