
වර්තමානයේ බහුතරයක් රටවල් පසුබෑමට ලක් වීමේ ප්රමුඛ සාධකය වන්නේ රාජ්‍ය පාලනය පිළිබඳව පවතින ගැටලු බව පැහැදිලි කරුණකි. තම රටවැසියන් තේරුම් නොගැනීම, තම රටේ ඓතිහාසික සහ සංස්කෘතික වටිනාකම් පිළිබඳ අවබෝධයක් නොවීම මෙන්ම ජාත්‍යන්තර පර්යාය තුළ තම අනන්‍යතාවයෙන් නැඟී සිටීමට තැත් නොකිරීම ශ්‍රී ලංකාව ඇතුලු බොහෝ රටවල් මුහුණ දෙන ප්‍රශ්නයක් වී තිබේ. ඉහත කරුණු සාධනීය ලෙස අවබෝධයෙන් අත්හදා බලමින් ජය ගත් රටක් ලෙස චීනය හඳුනාගත හැකිය. එසේ නම් එම සාර්ථකත්වය පිළිබඳ වටහා ගැනීම සෙසු රටවලට මනා අනුබලයක් වනු ඇත. ඊට කදිම අවකාශයක් “ෂී ජින්පිං ගේ චීන රාජ්‍ය පාලනය”ග්‍රන්ථය සපයා ඇති බව චීනය තුළ මෙන්ම ඉන් පිටත විද්‍යාර්ථීන් සහ දේශපාලන මත දරන්නන්ගේ අදහසයි. වසර 2012 සිට 2014 ජුනි මාසය දක්වා ෂී ජින්පිං ජනාධිපතිවරයා පවත්වා ඇති දේශන සහ ඔහුගේ සම්මුඛ සාකච්ඡා, උපදෙස් මෙන්ම ලිපි ඇසුරෙන් රචිත මෙම ග්‍රන්ථය 2014 වසරේ සැප්තැම්බර් 28 එළිදැක්වීමේ පටන් මේ වසරට දස වසක් සපුරයි. චීනයේ සමාජ පද්ධතිය, ඉතිහාසය සහ සංස්කෘතිය තේරුම් ගැනීමට පාඨකයන්ට මේ ඔස්සේ හැකිවීම වර්තමාන ලෝකයේ නවීකරණයට වැදගත් ප්‍රවේශයක් සපයයි.

බහුතරයක් රටවලට පැහැදිලි චින්තනයක්, ඉතිහාසයක් හෝ ප්‍රෞඩ සංස්කෘතියක් නොමැත. එමෙන් ම අතීතයේ සිට ලෝකයට ලබා දුන් වටිනාකම් ගැන ආදර්ශයන් ද සීමිතය. එවන් පසුබිමක චීනයේ ක්රමික ගොඩනැගීම විමසා බැලීමට මෙම ග්‍රන්ථයෙන් පුළුල් අවස්ථාවක් ලබා දී ඇත. චීනය සමෘද්ධිමත්, ශක්තිමත්, ප්රජාතන්ත්රවාදී, සංස්කෘතික වශයෙන් දියුණු සහ සුහදශීලී නවීන සමාජවාදී රටක් ලෙස ගොඩනැගීමේ ඉලක්කය අතීතයේ පටන් කැපවීමෙන් ආරම්භ කර ඇති බව මෙම ග්‍රන්ථය පරිශීලනයෙන් වටහා ගත හැකිය.
අප සමාජ ස්ථරයේ පංති කීපයක් පවතී. කම්කරු පංතිය, මධ්‍යම පංතිය, ධනවත් පංතිය ලෙස බෙදා ඇති සමාජය තුළ බහුතර වරප්‍රසාද ඉහළ පංතිය විසින් අත්කර ගැනීම ඛේදයකි. එහෙත් චීන මාවත, චීන ආත්මය පෝෂණය කිරීමට සහ චීනයේ ශක්තිය ගොඩනැගීමට කම්කරු පංතිය ආදර්ශවත් සහ ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරන අතර චීන සිහිනය සැබෑ කර ගැනීමට දැඩි උත්සාහයක් දැරිය යුතු බව “ෂී ජින්පිං ගේ චීන රාජ්‍ය පාලනය” ග්‍රන්ථය පෙන්වා දෙයි.
මිනිසුන් ඉතිහාසය නිර්මාණය කරන බවත්, ඔවුන්ගේ හැකියාවන් අනාගතය නිර්මාණය කරන බවත් මෙහි දැක්වේ. “මිනිස් සමාජයේ ප්‍රගතිය මෙහෙයවන මූලික බලවේගය රැකියාවයි. සතුට අහසින් නොවැටෙන අතර සිහින ඉබේම ඉටු නොවේ. තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහ දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීමට ජනතාව කෙරෙහි සමීපව විශ්වාසය තැබිය යුතුය. සැමවිටම ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කළ යුතුය. කඩිසරව, අවංකව හා නිර්මාණශීලීව වැඩ කළ යුතුය. අපි නිතර කියන දෙයක් වන්නේ, “පුහු කතාවලින් රටට හානියත්, වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් රටට දියුණුවත් හිමි වන බවයි”. මෙයින් අදහස් කරන්නේ අපි මුලින්ම වැඩ කළ යුතු බවයි.” එම ග්රන්ථයෙහි දක්වා ඇති චීන නායකයාගේ මේ සංකල්පය කලාපීය වශයෙන් අප මුහුණ දෙන තත්ත්වයෙන් මිදීමට දිශාවක් පෙන්වා තිබේ. අපගේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට නම් අප ද්‍රව්‍යමය වශයෙන් පමණක් නොව සංස්කෘතික හා සදාචාරාත්මක වශයෙන් ද පොහොසත් විය යුතු බව මෙහි අන්තර්ගතය.

සැතපුම් දහසක ගමනක් ආරම්භ වන්නේ එක් පියවරකිනි. චීනයට දීප්තිමත් අනාගතයක් ඇත, නමුත් එය කරා ළඟා වීම පහසු නොවනු ඇත. එක් උත්සාහයකින් පමණක් එම ඉලක්කය සපුරා ගත නොහැකි අතර ජනතා සිහිනය එක රැයකින් සැබෑ කර ගත නොහැකිය. ලෝකයේ සෑම ජයග්රහණයක්ම අමාරුවෙන් දිනාගත් දෙයකි. අනාගතය වඩාත් සුන්දර වන තරමට අප ඒ සඳහා වෙහෙස මහන්සි විය යුතු බවත් ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ ලිපි ඇතුළත් ග්‍රන්ථය ගෙන හැර දක්වයි.
කොටස් 79 ක පරිච්ඡේද 18 කින් සකස් කර ඇති“ෂී ජින්පිං ගේ චීන රාජ්‍ය පාලනය” ග්‍රන්ථය භාෂා 9කට පරිවර්ථනය කර බෙදා හැර ඇත. එහි සමෘද්ධිය, ප්රජාතන්ත්රවාදය, සභ්‍යත්වය, සංහිඳියාව, නිදහස, සමානාත්මතාවය, යුක්තිය, නීතියේ ආධිපත්‍යය, දේශප්‍රේමය, කැපවීම, අඛණ්ඩතාව සහ මිත්‍රත්වය මූලික සමාජවාදී වටිනාකම් රැසක් පිළිබඳ කරුණු ඇතුළත්ය. දස වසරකට පෙර ෂී ජින් පිං ජනාධිපතිවරයා දුටු අනාගත දැක්ම වර්තමානයටත් වලංගු සාධකයක්ව තිබේ.
ශ්‍රී ලංකාව මේ මුහුණ දෙමින් සිටින්නේ තවත් සුවිශේෂ කාලපරිච්ඡේදයකටය. රාජ්‍ය පාලනය පිළිබඳ අත්හදා බලමින් යෑමට මෙය කාලය නොවේ. අත්දැකීම් තුළින් ගොඩනැඟුන සාර්ථකත්වයෙන් අප හැමවිටම ඉගෙන ගත යුතු වේ. එම නිසා චීනය ඒ සඳහා යහපත් මාර්ගයක් පෙනවා දී තිබේ. සිදු කළ යුතු වන්නේ එය අධ්‍යයනය කොට අප රටට ගැලපෙන ආදර්ශයන් උකහා ගැනීමයි. එම නිසා දස වස සපුරන “ෂී ජින්පිං ගේ චීන රාජ්‍ය පාලනය” ග්‍රන්ථය හැදෑරීම රාජ්‍ය පාලනය තුළ අත්දැකීමෙන් පෝෂණය වීමේ පුළුල් මාර්ගයකි.
නීතිඥ සංඛ ප්රබුද්ධ
