තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ජපන් නායකත්වයේ වැරදි ප්‍රකාශ චීනයේ ස්වෛරීභාවයට සහ පශ්චාත් යුද ජාත්‍යන්තර පිළිවෙලට සෘජුවම අභියෝග කරන බව චීන විදේශ ඇමති වැන්ග් යී මහතා පවසයි. ඒ පිළිබඳව සුපරික්ෂාකාරී වන ලෙස ඔහු ජපානයෙන් ඉල්ලා සිටී. ඔහු මෙම ප්‍රකාශය සිදුකළේ ඊයේ(14) පැවති 62 වන මියුනිච් ආරක්ෂක සමුළුවේ “ලෝකය තුළ චීනය” නැමැති සැසියේදී සභාව අමතමිනි. ඉන් අනතුරුව හෙතෙම ආසියා-පැසිෆික් කලාපයේ ආතතීන් නැවත උත්සන්න කිරීම ගැන චීනයේ වගකීම පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, කලාපීය තත්ත්වය වඩාත් නොසන්සුන් බවට තමා එකඟ නොවන බව පැවසීය.
ලෝකය දෙස බලන විට සමස්ත සාමය පවත්වා ගන්නේ ආසියාව පමණක් බව වැන්ග් ඊ මහතා එහිදී සඳහන් කළේය. මෑතකාලීන ගැටුම් කඩිනමින් මැඩපැවැත්වීම සඳහා චීනය සිය භූමිකාව නිසිලෙස ඉටුකර තිබේ. චීනය ආසියාවේ සාමයේ කුලුනක් බවට පත්ව ඇති අතර ගෝලීය සාමය සඳහා සැලකිය යුතු බලවේගයක් ලෙස කලාපීය ස්ථාවරත්වය සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටු කරනු ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
තායිවාන සමුද්‍ර සන්ධියේ ඕනෑම හදිසි අවස්ථාවක් ජපානයේ ආත්මආරක්ෂාවේ ඊනියා “පැවැත්මට තර්ජනයක් වන තත්ත්වයක්” ඇති කරන බව වත්මන් ජපන් අගමැතිනිය ප්‍රසිද්ධියේ පවසා ඇති බව ඔහු පෙන්වා දුන්නේය. යුද්ධයෙන් පසු වසර 80ක් තුළ ජපන් අගමැතිවරයෙකු ප්‍රසිද්ධියේ මෙතරම් දරුණු ප්‍රකාශයක් සිදු කළ පළමු අවස්ථාව මෙයයි. එවැනි ප්‍රකාශ චීනයේ ජාතික ස්වෛරීභාවයට, තායිවානය චීනයට හිමි කර දුන් පශ්චාත් යුද ජාත්‍යන්තර පිළිවෙලට සෘජුවම අභියෝග කරන බව ඔහු අවධාරණය කළේය. චීනය නිසැකවම මෙය නොපිළිගන්නා බවත් බිලියන 1.4ක චීන ජනතාවද පිළිගන්නේ නැති බවත් වැන්ග් යී මහතා අවධාරණය කළේය.
තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ජපන් නායකත්වයේ වැරදි ප්‍රකාශවලින් හෙළි වන්නේ තායිවානය ආක්‍රමණය කර යටත් විජිතයක් බවට පත් කිරීමේ ජපානයේ අභිලාෂය මිය ගොස් නොමැති බවත්, මිලිටරිවාදයේ අවතාරය තවමත් පවතින බවත්ය.
සාමයට ආදරය කරන සියලුම රටවලින් මෙම තත්ත්වය පිළිබඳව ජපානයට අනතුරු අඟවන ලෙස වැන්ග් යී මහතා ඉල්ලීමක් කළේය. එසේ නොමැතිව ජපානය තම මාර්ගයේම යාමට උත්සාහ කරමින් එම සූදුව දිගටම සිදුකළහොත් එයින් ඔවුන්ට විනාශය ගෙන එනු ඇති අතර දරුණු පරාජයකට ලක්ව අවාසි අත්විඳීමට සිදු වනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
