චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හමුවෙති. ප්‍රාදේශීය වේලාවෙන් අද(30) දහවල් කාලයේ දකුණු කොරියාවේ Busan නගරයේදී එම හමුව පැවැත්විණ.
චීනයේ හා ඇමරිකාවේ ජාතික තත්ත්වය වෙනස් වීම හේතුවෙන් මතභේද මඟහැරීම කළ නොහැක්කක් වන අතර, ලෝකයේ දැවැන්තම ආර්ථික දෙකක් ලෙස ගැටුම් හට ගැනීම සාමාන්‍ය බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. එබැවින් නොසන්සුන්භාවය හා අභියෝගයන්ට මුහුණ දීමේදී, චීන ඇමරිකා සබඳතාවන් හි විධිමත් හා සුමට ගමනක් සහතික කිරීම සඳහා, තමා සහ ට්‍රම්ප් ජනාධිපතිවරයා එහි නායකත්වය ගෙන නිවැරදි දිශානතියකින් යුතුව සමස්ත තත්ත්වය මනා ලෙස කළමනාකරණය කළ යුතු යැයි ද ඔහු කියා සිටියේය.
චීනයේ සංවර්ධනය සහ පුනර්ජීවනය, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ‘ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ඨ කිරීම’ යන ඉලක්කයට පටහැනි නොවන බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේය. දෙරටට අන්‍යෝන්‍ය සාර්ථකත්වය සහ පොදු සමෘද්ධිය නියත වශයෙන්ම අත්කර ගත හැකි බව ඔහු කියා සිටියේය. චීනය සහ ඇමරිකාව හවුල්කරුවන් සහ මිතුරන් විය යුතුය. එය ඉතිහාසයෙන් ලද අත්දැකීමක් මෙන්ම යථාර්ථවාදී අවශ්‍යතාවක් බව ද ඔහු පෙන්වා දුන්නේය. චීන-ඇමරිකා සබඳතාව වෙනුවෙන් ශක්තිමත් පදනමක් ගොඩනැංවීම සහ දෙරටේ සංවර්ධනයන් සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද ෂී ජින්පිං මහතා එම හමුවේදී ප්‍රකාශ කළේය.
චීන ආර්ථිකයේ සුවිසල් ධාරිතාව, ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාව සහ දැවැන්ත විභවය සමග විවිධ අවදානම් සහ අභියෝගයන්ට මුහුණ දීමට චීනයට විශ්වාසය මෙන්ම හැකියාව ද ඇති බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේය. දෙරටේ අදාළ කණ්ඩායම්, දෙපාර්ශ්වයටම වැදගත් වන ආර්ථික හා වෙළඳ ගැටලු පිළිබඳව ගැඹුරින් අදහස් හුවමාරු කර ගෙන ඇති අතර ඊට අදාළ විසඳුම් සම්බන්ධයෙන් ද මේ වනවිට එකඟතාවයකට පැමිණ ඇත. ඒ අනුව අදාළ කණ්ඩායම් කඩිනමින් එහි ඉදිරි කටයුතු නිසි ලෙස ක්‍රියාවට නැංවීම සඳහා අදාළ එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුය. එසේම එහි ප්‍රායෝගික ප්‍රතිඵල මගින් චීනය සහ ඇමරිකාව යන දෙපාර්ශ්වයටත් ලෝක ආර්ථිකයටත් නිශ්චිත බවින් යුතු දිරිගැන්වීමක් ලබා දිය හැකි වෙතැයි අපේක්ෂා කරන බව ද ෂී ජින්පිං මහතා පැවසීය.
මෑත කාලයේ දී චීන-ඇමරිකානු ආර්ථික හා වෙළඳ සබඳතාව තුළ යම් ගැටලුකාරී තත්ත්වයන් පැන නැඟුණු අතර ඉන් දෙපාර්ශ්වයට යම් පාඩම් ලබා දී ඇත. දෙපාර්ශ්වයම එකිනෙකා කෙරෙන් පළිගැනීමේ විෂම චක්‍රයක් වෙත යාම පසෙකලා, දූරදර්ශී හා පොදු ආකල්පයක සිට, සහයෝගීතාවයේ දිගුකාලීන ප්‍රතිලාභ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. එමෙන්ම දෙරටෙහි ආර්ථික හා වෙළඳ කණ්ඩායම් සමානාත්මතාවය, ගෞරවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ යන මූලධර්ම මත පදනම්ව අඛණ්ඩව සාකච්ඡා පැවැත්වීම තුළින්, ගැටලු සංඛ්‍යාව අවම කරමින් සහයෝගීතා ලැයිස්තුව දිගු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.
ගැටුම්වලට වඩා සංවාදය වඩාත් සුදුසු තෝරා ගැනීමක් බව සඳහන් කළ ෂී ජින්පිං මහතා, චීනය සහ ඇමරිකාව, සෑම මට්ටමකින්ම මෙන්ම සියලු මාර්ග ඔස්සේ සන්නිවේදනය හා අවබෝධය වැඩි දියුණු කළ යුතු බව ද කියා සිටියේය. තවද, චීනය සහ ඇමරිකාව කලාපීය හා ජාත්‍යන්තර වේදිකාවලදී ධනාත්මක අන්තර්ක්‍රියාවල නිරත විය යුතු බවත් චීන ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.
කලාපීය උණුසුම් ගැටළු විසඳීම පෙළඹවීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉදිරිපත් ව සිටින බවත්, චීනය ද තමන්ට අනන්‍ය ආකාරවලින් වර්තමානයේ පවතින විවිධ උණුසුම් ගැටළු පිළිබඳ සාමකාමී ප්‍රවේශයකින් සාකච්ඡා සිදු කිරීම ප්‍රවර්ධනය කරමින් සිටින බවත් ෂී ජින්පිං මහතා අවධාරණය කළේය. වත්මන් ලෝකයේ දුෂ්කරතාවන් රැසක් පවතී. චීනයට සහ ඇමරිකාවට ප්‍රධාන රටවල් ලෙස සිය වගකීම ඒකාබද්ධව දරමින් දෙරටටම සහ ලෝකයටම වඩාත් වැදගත්, ප්‍රායෝගික සහ යහපත් ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට එක්ව ක්‍රියා කළ හැකි බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
සිය දිගුකාලීන මිතුරෙකු යළි හමුවීමට ලැබීම මහත් ගෞරවයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය. තමා ඉතා විශිෂ්ට සහ ගෞරවනීය චීන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පවත්වා බොහෝ එකඟතාවන්ට පැමිණ ඇති බවත් නව එකඟතාවන්ට පැමිණීමට අපේක්ෂා කරන බවත් ඔහු කීය. ජනාධිපති ෂී ජින්පිං මහතා ශ්‍රේෂ්ඨ රටක ශ්‍රේෂ්ඨ නායකයෙකු බව ද ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ෂී ජින්පිං ජනාධිපතිවරයා සමග දිගුකාලීන යහපත් සම්බන්ධතවක් ගොඩනඟා ගැනීමට හැකි වෙතැයි තමා විශ්වාස කරන බවත් ඒ සඳහා ‘ඔබ අප සමඟ සිටීම මහත් ගෞරවයක්’ බවත් ට්‍රම්ප් මහතා පැවසීය.
