ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් අටක් උගන්වනු ලබන පාසල් සංඛ්‍යාව දහස දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (11) රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ. මෙම කාර්ය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අලුතින් ගුරුවරුන් 2,500කගේ සේවය ලබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී උපදෙස් ලබා දුන් අතර, මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමේ හදිසි අවශ්‍යතාව සලකා බලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් ඉගැන්විය හැකි සුදුසුකම් ලත් විශ්‍රාමික ගුරුවරුන් 1,000ක් වසර 3ක කොන්ත්‍රාත් කාලයක් සඳහා කඩිනමින් බඳවා ගැනීමට ද ඒ අතරතුර විවෘත තරග විභාගයක් මඟින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විය හැකි උපාධිධාරීන් 1,100ක් අදියර වශයෙන් බඳවා ගැනීමට ද උපදෙස් දුන්නේය. දැනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගුරුවරුන් පුහුණු කරනු ලබන විද්‍යා පීඨයන්ගෙන් පුහුණුව ලබා පිටවීමට නියමිත විද්‍යා පීඨ ගුරුවරුන් 400ක් ද මෙයට අන්තර්ගත වනු ඇත.
ජාතික ගුරු කවුන්සිලයක් (National Council for Teachers) පිහිටුවීම සඳහා පනතක් කෙටුම්පත් කර මාසයක් තුළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.
මේ වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි, ජාතික විභාග ප්‍රතිඵල දක්වන සහතිකවලට සීමා නොවී පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කිරීමේ සහතිකයක් (Certificate of Completion) සෑම සිසුවකුටම ලබා දීමට ද මෙහිදී ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹීය.
අධ්‍යාපනය වත්මන් ආර්ථික පරිවර්තනයේ අත්‍යවශ්‍යම මූලාංගයක් ලෙස සලකා රජය විසින් එහි ප්රගමනය වෙනුවෙන් සකස් කරන ලද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් ඇතුළු අමාත්‍යවරු 08 දෙනකුගෙන් සමන්විතය.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙහි කෙටි කාලීන සහ මධ්‍ය කාලීන අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලීන් අඩංගු වන අතර, වත්මන් අධ්‍යාපන ක්ෂේත්රය තුළ සිදු කළ යුතු වඩාත් වැදගත් සහ කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ කමිටුව පෙරේදා රැස්වූ අවස්ථාවේදී සාකච්ඡා කෙරිණි. 2000 වර්ෂයේ සිට පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් 08ක් ඉගැන්වීම ආරම්භ කරන ලද අතර, වසර 24ක් ගතවී ඇතත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් ඉගැන්වීම සිදුවනුයේ පාසල් 765ක පමණි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා විශාල ඉල්ලුමක් සමාජයේ පවතින බැවින් පෙරේදා පැවති ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේදී මෙම පාසල් සංඛ්‍යාව 1,000 දක්වා වැඩි කිරීමට ගත් තීරණය අනුව 2025 වසර වන විට අවම වශයෙන් සිසුන් 200,000ක් සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබා ගැනීමට පහසුකම් සැලසෙනු ඇත.